Wednesday 1st of April 2026

English Tamil
Advertiesment


ජනතාවට සේවය කිරීමට ආණ්ඩු බලය ලැබෙනතුරුම බලා නොසිටිය යුතු බව ලොවටම සපථ කළ එකම විපක්ෂ නායක


2026-03-31 1237

 

සක්වල - හුස්ම කොයිබටද..?

 

බොරදියේ මාළු බානවා වෙනුවට අවදානම කල්තියාම පෙන්වා දෙන විපක්ෂ නායක සජිත්..!

 

අර්බුදයෙන් ජනතාව පීඩාවට ලක්කර බලය ලබාගන්න මේ විපක්ෂ නායක සූදානම් නෑ

 

 

(අචින්ත මධුර) 

 

මේ වන විට ආණ්ඩුව අර්බුද කිහිපයකටම මුහුණ දී ඇත. මෙම අර්බුද හමුවේ ආණ්ඩුව කෙරෙහි පවතින ජනතා විශ්වාසය සීඝ්‍රයෙන් අඩුවී යන බව මේ වන විටත් පැහැදිලි වී අවසන්ය.

ආණ්ඩුවේ මෙම විශ්වාසය අහිමි වීමට ප්‍රධානතම හේතු වූයේ ඔවුන් ආණ්ඩුව ලබාගැනීමට පෙරත්, ඉන්පසුවත් ජනතාවට දිගින් දිගටම බොරු කීමයි. ආණ්ඩුව කෙරේ ජනතාවගේ විශ්වාසය බිඳ වැටී ඇති බවට වූ කදිම නිදසුන බවට පත් වූයේ පහුගිය දින කිහිපයේදී නිර්මාණය වූ තෙල් පෝලිම්ය. ආණ්ඩුව  කොතෙක් තෙල් ප්‍රමාණවත්ව පවතින බවට සපථ කළත්, ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිමින් තම ඉන්ධන ටැංකිය උපරිමයට පුරවා ගැනීමට කටයුතු කළේ, ආණ්ඩුව විසින් සිදු කරනු ලබන ප්‍රකාශ තඹ දොයිතුවකට මායිම් නොකරන බැවිනි.

එසේම මේවන විට ආණ්ඩුව දුෂණයට එරෙහිව ගෙනගිය හඬ සම්පූර්ණයෙන්ම නිහඬ වී ඇත. ඒ ඇමති මණ්ඩලයේ කිහිපදෙනෙකුටම දූෂණ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවතීමත්, එම නඩු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් නොදන්නා මෙන් තවමත් ඔවුන්ව ඇමතිධූර වල ආරක්ෂා කර තබා ගැනීමත් නිසාය. කන්ටේනර් වංචාවෙන් පටන් ගත්ත මේ ආණ්ඩුවේ දූෂණ, අක්‍රමිකතා ලිස්ට් එක ආසන්නතම ලංකා ඉතිහාසයේ දැවැන්තම ගල් අඟුරු වංචාව දක්වා දීර්ඝ වී ඇත. 

හොඳම වැඩේ නම්, මෙම ගල් අඟුරු වංචාව සිදුවී ඇත්තේ, රාජ්‍ය සේවකයකු ලෙස කටයුතු කිරීමේදී දූෂණ අක්‍රමිකතා නිසා සේවයෙන් ඉවත් කරන ලද මෙන්ම ඒ සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ අධි චෝදනා ගොනු වී ඇති කුමාර ජයකොඩි අමාත්‍යවරයා යටතේ වීමයි. 

අනුර විපක්ෂයේ සිටියේ නම් මේ වනවිට මේ ඇමතිවරයා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග රාශියක් ඉදිරිපත් කර තිබෙනවා වුවද අනුර කුමාර ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ඔහු නිලධාරියෙක්ව සිටියදී සිදු කළ වංචා දූෂණ තමාට අදාල නොවන බවයි. මෙය 100%ක්ම දූෂණයට එරෙහිව අනුරට ඡන්දය භාවිතා කළ ජනවර්මට එළිපිටම පයින් ගැසීමකි.

තවද ඕනෑම ගැටලුවකට ආණ්ඩුව මේ වන විට ඉදිරිපත් කරන තර්කය මැද පෙරදිග  යුද්ධය බවට පත්ව ඇත. මැද පෙර දිග යුද්ධය  දඩමීමා කරගන්නා ආණ්ඩුවෙන්  ඇසිය යුත්තේ හාල් මිල අහස උසට ගොස් ඇත්තේ මැදපෙරදිග යුද්ධය නිසාද, විදුලි බිල ඉහළ දැමීමට සිදුවූයේ මැද පෙරදිග යුද්ධය නිසාද, දරිද්‍රතාවය වේගයෙන් ඉහළ යාමට ලක්ව ඇත්තේ මැද පෙරදිග යුද්ධය නිසා ද යන්න යි.

විදුලි බිල ඉහළ යාමට හේතුව බාල ගල් අඟුරු මගින් සිදුවූ අලාභය IMF එකඟතාවලට අනුව මහජනතාවගෙන් අයකර ගැනීමට කටයුතු කිරීම බව ඕනෑම අයෙකු දන්නා සත්‍යයකි. ආණ්ඩුව මෙවැන්නක් කිරීමට සූදානම් වන බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ මෙම ගල් අඟුරු වංචාව පාර්ලිමේන්තුවේදී හෙළිවූ අවස්ථාවේදීය.  තවද රටේ වේගයෙන් ඉහළ යන දරිද්‍රතාවයෙන් එම ජනතාව මුදවා ගැනීමට කිසිදු සැලසුමක් වර්තමාන ආණ්ඩුවට නොමැත.

මෙවැනි තත්ත්වයක් තුළ ඇතැම් විපක්ෂයේ පාර්ශව පවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උද්ඝෝෂණ, වැඩ වර්ජන සිදුකිරීමට යුහුසුළු නොවීම පිළිබඳව දෝෂාරෝපණයෙන් යුතුව ක්‍රියා කරන ආකාරයක් ද මේ වන විට දැකගත හැක. විපක්ෂ නායකවරයා එසේ නොකිරීමට හේතුව ජනතාව පීඩාවට පත්කර හෝ කුමන්ත්‍රණකාරී ලෙස ඩීල් දේශපාලනය මගින් හෝ ජන මතයට පිටුපාන අයුරින් කටයුතු කර එමගින් බලය ලබාගැනීම එතුමාගේ ක්‍රමය නොවීමයි. ඒ බව අතීතයේදීත් අවස්ථා දෙකකදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තහවුරු කර ඇත. 

පළමුව එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දැඩි  ආරෝවක පැටලී මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කිරීමට කටයුතු කළ අවස්ථාවේදී, ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග විශාල සාකච්ඡාවක නිරත වූ සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය ධුරය බාරගන්නා ලෙසට මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ ආරාධනයට ප්‍රතිචාර ලෙස සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, තම පක්ෂයේ නායකයාට පිටුපසින් සිට පිහියෙන් අනින ක්‍රියාවකට තමා එකඟ නොවන බවත්, එය ජන මතයට අනුව පමණක් සිදු විය යුතු බවත්ය. ඉන්පසු ගෝඨාභය රාජපක්ෂ මහතාද අර්බුදයේ තීව්‍ර අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ධූරය බාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කළ අවස්ථාවේදී, ජනතාව ප්‍රතික්ෂේප කරමින් සිටින පොහොට්ටුවේ කණ්ඩායම සමග එක්ව ආණ්ඩු ගෙනයාමට තමා සූදානම් නොමැති බවත්, ඉතා කෙටි කාලයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමටත්, නැවත මහ මැතිවරණයක් පැවැත්වීමටත් එකඟ වන්නේ නම් පමණක් අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සූදානම් බවත් කොන්දේසි එකොළහක් ඇතුළත් ලිපියක් මගින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දැනුම් දෙන ලදී. 

මෙලෙස තමන් බලයට  කෑදර කමක් නොමැති   පුද්ගලයකු බව ඉතාම  තීරණාත්මක අවස්ථා දෙකකදීම ඔප්පු කර ඇති සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනුයේ තමා බලය ලබා ගනුයේ ජනතා ඡන්දයෙන් සහ ආශිර්වාදයෙන් පමණක් බවයි.

නමුත් වර්තමාන ආණ්ඩුවේ මෙම ක්‍රියාවන් නිසා දිගින් දිගටම ජනතාවට අගතියට පත්වීමට තමා ඉඩ නොදෙන බවද, ප්‍රකාශ කළ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බලශක්තිය අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ගෙන ඒමට කටයුතු කර ඇත. 

තවද ආණ්ඩුව මෙලෙස දිගින් දිගටම ජනතාව පෝරකයට තල්ලු කිරීමට කටයුතු කරනු ලැබුවහොත්, ජනතාව සමඟ පාරට බැසීමට ද තමන් ඉදිරිපත් වන බවද විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ වන විටත් පෙන්වා දී ඇත.  විපක්ෂ නායකවරයාගේ මෙම ජනතාවාදී ප්‍රවේශය නිවට කමක් ලෙස  නොගෙන ඉක්මනින්ම ඡන්දයට පෙර පොරොන්දු වූ පරිදි ජනතාවට සහන සැලසීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට සිහිපත් කළ යුතුව ඇත.

විපක්ෂ නායකවරයාගේ මෙම ජනතා හිතවාදී ප්‍රවේශය තුළ එතුමා පවතින ආණ්ඩුව බෙල්ලට හිර වෙනකන් නොසිට, ගෝලීය තත්ත්වයන් මත අපේ රටට එල්ල විය හැකි අවදානම් පිළිබඳව ආණ්ඩුව දැනුවත් කිරීමට සෑම විටම කටයුතු  කරනු දැක ගත හැකිය. නමුත් ගෝලීය තත්ත්වයන් පිළිබඳව මෙලෝ අවබෝධයක් නොමැති ගෝඨාභය ආණ්ඩුවත් වර්තමාන අනුර කුමාර ආණ්ඩුවත් විපක්‍ෂනායකවරයා කල් තියා පෙන්වා දෙන ඒම අවදානම් පිළිබඳව විහිළු සහගතව පාර්ලිමේන්තුවේ ප්‍රතිචාර දැක්වීම මේ රටේ ජනතාවගේ අභාග්‍යයක් බවද පෙන්වා දිය යුතුය. 

පළමුව කොවිඩ් අවදානම ලෝකයේ පැතිර යන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය මාස්ක් සහ එන්නත් ලබා ගැනීමට යුහුසුළුව කටයුතු කළ යුතු බව පෙන්වා දෙන විට එවකට සෞඛ්‍ය  ඇමතිනි පවිත්‍රා  වන්නිආරච්චි එවැනි අවදානමක් නොමැති බව විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයට උසුළු විසුළු කරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී. වර්තමානයේදී ද මැදපෙරදිග නොසන්සුන්තාවය ආරම්භ වනවාත් සමග  හෝමෝස් සමුද්‍ර සන්ධිය වැසීමේ අවධානමක් පවතින බවත්, රුසියාව ඉන්දියාව වැනි විකල්ප සැපයුම්කරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර සාකච්ඡා ආරම්භ කරන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි විට ආණ්ඩුවේ විදේශ අමාත්‍යය විජිත හේරත් ප්‍රකාශ කළේ එලෙස හෝමෝස් සමුද්‍ර සන්ධිය වැසීමේ අවදානමක් නොමැති බවත්, එලෙස වැසීමට ලක් කරත් එමගින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවත්ය. ඒ තරම්ම වර්තමාන ආණ්ඩුවේ ගෝලීය තත්ත්වයන් පිළිබඳ අවබෝධය පුංචි බව මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. 

විපක්ෂ නායකවරයා පෙන්වා දුන් එම මාර්ගයේ, මේ වනවිට ආණ්ඩුව ගමන් කරමින් සිටීම යම් තරමකින් හෝ මෙරට ජනතාවගේ භාග්‍යයක් බවද පෙන්වා දිය යුතුය. නමුත් 'අපායට ගියත් මුලින්ම යන්න' ලෙස අප අසා ඇති ප්‍රකාශයද සනාථ කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන් අවස්ථාවේදීම එම ක්‍රියා මාර්ග ලබා ගත්තේ නම් එමගින් රටට ඉතා විශාල වාසියක් ලබා ගැනීමට අවස්ථාව පැවතුණි.

රටේ ආණ්ඩුව හිරවෙනවා යනු ජනතාව වන්දි ගෙවීමයි. එම නිසා වර්තමාන විපක්ෂ නායකවරයා මින් පෙර කිසිදු විපක්ෂ නායකවරයෙකු සිදු නොකළ අන්දමට ආණ්ඩුවට අවශ්‍ය මාර්ගෝපදේශය විපක්ෂයේ සිට ලබාදෙමින් ලෝකයටම ආදර්ශයක්  ලබාදෙමින් සිටියි.

තවද ජනතාවට සේවය කිරීමට ආණ්ඩු බලය ලැබෙන තුරු බලා සිටිය නොහැකි බව පසක් කරමින් විපක්ෂ නායකවරයා  සක්වළ සහ හුස්ම ලෙස ජාතික මට්ටමේ වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීම ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ලෙස පෙන්වා දිය හැකිය. 

නමුත් කනගාටුවට කරුණ නම් පවතින ආණ්ඩු එම ව්‍යාපෘතීන් සඳහා ආශිර්වාද කරනවා වෙනුවට තම ඇහැට කටු අහිනවාක් මෙන් ගෙන ඒවාට අකුල් හෙලමින්, අපහාසයට ලක් කරමින්, අධෛර්යමත් කිරීමට කටයුතු කළත් විපක්ෂ නායකවරයා  ඒවා තඹ  දොයි්තුවකට මායිම් නොකර එම වැඩසටහන් ඉදිරියට ගෙන ගියේ එමගින් ජනතාවට ලැබෙන අති මහත් වරප්‍රසාද පිළිබඳ හොඳින්ම දන්නා බැවිනි.

වර්තමානයේ බලයේ සිටින ජවිපෙ ප්‍රමුඛ මාලිමාව, ආණ්ඩුවට පත් වූ පසුත් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව නත්තල් සීයාට සමාන කරමින් ප්‍රකාශ නිකුත් කළේ, තමන් ආණ්ඩුවට පැමිණි  පසුවවත්, මේවා ජාතික අවශ්‍යතා මෙන්ම පවතින ආණ්ඩුව විසින් අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතු සහ සමාජ ප්‍රගමනයට ඉතා අත්‍යවශ්‍ය ව්‍යාපෘතීන් බව හඳුනා ගැනීමෙන් තොරව වීම බරපතල තත්වයක බවද පෙන්වා දිය යුතුය.

අවසාන වශයෙන් මෙරට ජනතාවට සිතීමට ඇත්තේ, විපක්ෂයේ සිට මෙලෙස අපරෙහිත ධෛර්යයකින් මෙන්ම දුරදක්නා නුවණකින් කටයුතු කරන සජිත් ප්‍රේමදාස ආණ්ඩුවක් ලබාගත් පසු කෙතරම් දුරක් මේ පුංචි රට රැගෙන යාවිද යන්නයි. එය ලංකා ඉතිහාසයේ නොමියෙන පරිච්ඡේදයක් බවට පත්වන බව නම් නිසැකවම ප්‍රකාශ කළ හැකිය.

 

 

Advertiesment